අර්ජුන් ප්‍රනාන්දූ මහතා සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමග සම්බන්ධ වෙයි

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ විගණන කමිටුවේ හා සංගෘහිත අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයකු වශයෙන් සේවයේ නිරත වීම සඳහා 2017 අගෝස්තු 16 දින සිට අර්ජුන් ප්‍රනාන්දූ මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සදර්න් ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා(BSc) උපාධියක් ද, දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ක්ලෙම්සන් සරසවියෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති(MSc) උපාධියක් ද ලබා ඇති අර්ජුන් ප්‍රනාන්දූ මහතා, එක්සත් රාජධානියේ මුල්‍ය අධ්‍යයන ආයතනයේ(බැංකුකරුවන්ගේ වරලත් ආයතනයේ)සාංගමික සාමාජිකයකු ද වේ.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමග සම්බන්ධ වීමට පෙර DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ඔහු සේවය කළ අතර, මෙරට මෙන්ම විදේශයන් හි දි වෘත්තීය බැංකුකරුවකු ලෙස පෘථුල පළපුරුද්දක් ලබා ඇත.

අර්ජුන් ප්‍රනාන්දූ මහතා සිය රැකියා දිවිය ආරම්භ කළේ HSBC බැංකුවෙනි. පසුව එහි විවිධ අංශවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරියකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. ශ්‍රි ලංකාවේ HSBC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, බංග්ලාදේශ HSBC බැංකුවේ ප්‍රධාන තාක්ෂණ හා සේවා නිලධාරි සහ හොංකොං හි පිහිටි ආසියානු ශාන්තිකර HSBC බැංකු (වාණිජ බැංකුකරණය,වෙළෙඳ හා සැපයුම්)ජාලයේ කලාපීය විචලන හා විසර්ජන අංශ ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කළේය.

එසේම,ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස ද ෆීජී හි හෝම් ෆිනෑන්ස් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස ද ඔහු කටයුතු කරයි.